වර්නියර් මූලධර්මය සහ වර්නියර් කැලිපරය
සාමාන්‍ය භාවිතයන් වලදී මෙන් නොව පරීක්ෂණ වලදී ලබා ගත යුතු පාඨාංක හැකිතාත් නිවැරදි විය යුතුය. සාමාන්‍ය අඩි කෝදුවක ඇති පරිමාණයේ රේඛා දෙකක් අතර මිනුමක් පිහිටයි නම් එයින් අපට නිවැරදි පාඨාංකයක් ලබා ගත නොහැක. මෙයට පිළියමක් ලෙස වර්නියර් මූලධර්මය හඳුන්වා දිය හැක. මෙය ප්‍රංශ ගණිතඥ පියරේ වර්නියර් විසින් හඳුන්වා දුන් නිසා ඔහුගේ නාමයෙන් මෙම මූලධර්මය නම් කෙරිණි.
රේඛීය පරිමාණයක කිසියම් දිගක් සමාන කොටස් වලට බෙදා සාදන නව පරිමාණය වර්නියර් පරිමාණය ලෙස හැඳින්වේ. මෙහිදී ප්‍රධාන පරිමාණය ලෙස මිලිමීටර් පරිමාණය ගනිමු. එමඟින් ඉතා කුඩා මිනුම් නිවැරදිව ලබා ගත හැක.
ඉහත රූපයේ දක්වා ඇති ආකාරයට ප්‍රධාන පරිමාණයට(Main Scale) ස්පර්ශව හා සමාන්තරව වර්නියර් පරිමාණය(Vernier Scale) එහා මෙහා ගෙන යා හැක. මෙම පරිමාණ දෙකම භාවිතා කොට ප්‍රධාන පරිමාණයට වඩා වැඩි නිරවද්‍යතාවයකින් යුතු මිනුම් ලබා ගත හැක. මෙම පරිමාණ දෙකම අඩංගු කොට නිමවා ඇති වර්නියර් කැලිපරය භාවිතා කර ඉතා පහසුවෙන් මිනුම් ලබා ගත හැක. පහත රූපයේ ඇත්තේ එවැනි වර්නියර් කැලිපරයකි.
ඉහත රූපයේ අංක කර ඇති පරිදි ඒ ඒ කොටස් මෙසේ හඳුන්වනු ලැබේ.
1-බාහිර හනු (පිට හනු) | මෙම හනු දෙක අතර වස්තුවක් තබා සිර කර ගැනීමෙන් බාහිර විෂ්කම්භය හා දිග මැනිය හැක.
2-අභ්‍යන්තර හනු(ඇතුළු හනු) | මෙම හනු සිලන්ඩරයක් තුළට ඇතුළු කර සිර කර ගැනීමෙන් අභ්‍යන්තර විෂ්කම්භය මැනිය හැක.
3-ගැඹුර මනින කූර | මෙම කූර සිලන්ඩරයක් වැනි දේක පතුලට දමා ගැඹූර මැනිය හැක.
4-ප්‍රධාන පරිමාණය | බොහෝ කැලිපර වල ප්‍රධාන පරිමාණය සඳහා මිලිමීටර් වලින් ලකුණු කර ඇත.
5-වර්නියර් පරිමාණය | මෙය සර්පණ හනුව තුල පිහිටා ඇත. බොහෝ විට වර්නියර් කොටස් 10කින් සමන්විතය.
6-අචල හනුව | මෙය වර්නියර් කැලිපරයේ නිශ්චලව තබාගත යුතු කොටසයි. මෙම කොටසට එක් බාහිර හනුවකුත එක් ඇතුළු හනුවකුත් ප්‍රධාන පරිමාණයත් අයත්ය.
7-සර්පණ හනුව | මෙය වර්නියර් කැලිපරයේ චලනය කළ යුතු කොටසයි. මෙම කොටසට එක් පිට හනුවකුත් එක් ඇතුළු හනුවකුත් වර්නියර් පරිමාණයත් ගැඹුර මැනීමේ කූරත් අයත් වේ.
පහත වීඩියෝව නැරඹීමෙන් වර්නියර් කැලිපරයේ භාවිතය ගැන හොඳ අවබෝධයක් ලබා ගත හැක.
වර්නියර් මූලධර්මයෙන් දිග මැනීමට පෙර එහි කුඩාම මිනුම(least count) සොයාගැනීම වැදගත්. කුඩාම මිනුම යනු අඳාළ වර්නියර් කැලිපරයෙන් මැනිය හැකි කුඩාතම මිනුමයි. වර්නියර් කැලිපරයේ කුඩාම මිනුම යනු ප්‍රධාන පරිමාණ එක් කොටසකින් මුළු වර්නියර් කොටස් ගණනේ දිගෙන් අඩු කිරීමෙන් ලැබෙන අගයයි. එය පහත රූපය ඇසුරෙන් මෙසේ පෙන්වා දිය හැක.
ප්‍රධාන පරිමාණ කොටසක දිග 1mm වේ. වර්නියර් කොටස් ගනන 10කි. වර්නියර් කොටස් 10, ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් සමඟ සමපාත වන නිසා මූළු වර්නියර් කොටස් ගණනනේ දිග 9mm වේ. ඒ අනුව එක් වර්නියර් කොටසක දිග 9/10mm විය යුතුයි. දැන් කුඩාම 1mm – 9/10mm වේ. එවිට කුඩාම මිනුම 0.1mm වේ. බොහෝ වර්නියර් කැලිපර වල කුඩාම මිනුම සටහන් කර තිබේ. තවද කුඩාම මිනුම පහත සූත්‍රයෙන් පහසුවෙන් සෙවිය හැක.
කුඩාම මිනුම=ප්‍රධාන පරිමාණයේ කොටසක දිග/මුළු වර්නියර් කොටස් ගණන
වර්නියර් කැලිපරය භාවිතා කර දිග මනින ආකාරය සහ අඳාළ ගණනය කිරීම් සිදු කරන ආකාරයත් මූලාංක දෝෂ පරීක්ෂාව ගැනත් මීළග ලිපියෙන් සලකා බලමු.෴









සුපර් ඩුපර්.. එකෙන්මා
වීඩියො එකත් එල
නියම පෝස්ට් එක මල්ලි මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
ප්‍රතිචාර ලබා දුන් අමිලටත් දේදුනු අයියටත් බොහොම ස්තූතියි.
අපෙනුත් තෑන්ක් ඔන්න
නියමයි….
ලිපි ටික නම් නියමයි. මමත් ගොඩාක් දේ ඉගනගත්තා. මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය ගැන ලිපි එහෙම නැද්ද.
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. ඉදරියේදී මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය ගැනත් දාන්නම්. දිගටම රැදෙන්න.
අනිත් පාඩම් වලටත් මේ වගේ ඒවා දාන්න. දිගටම කරගෙන යන්න සුභපතනවා
කුඩාම මිනුම=ප්‍රධාන පරිමාණයේ කොටසක දිග/මුළු වර්නියර් කොටස් ගණන
kiyana sameekaranaya hama gaanakatama paavichchi karanna ba neda ….