21Jan2011

වර්නියර් කැලිපරයෙන් දිග මනිමු

අපි දැන් වර්නියර් කැලිපරයෙන් යම් මිනුමක් ලබා ගන්නා ආකාරය ගැන පියවරෙන් පියවර සාක්ච්ඡා කරමු. ප්‍රථමයෙන්ම අප භාවිතා කරන වර්නියර් කැලිපරයේ කුඩාම මිනුම ලබා ගත යුතුයි. කුඩාම මිනුම ලබා ගන්නා ආකාරය පෙර ලිපියේ සඳහන් වේ. ඉන්පසු කැලිපරයේ සර්පණ හනුව අචල හනුව සමඟ ගැටෙන තෙක් තල්ලු කර පාඨාංකය ලබා ගන්න. මේ පාඨාංකය සාමාන්‍යයෙන් ශුන්‍යය වේ. එසේ නොවේනම් ලැබෙන ඒ පාඨාංකය උපකරණයේ මූලාංක දෝෂය ලෙස හැඳින්වේ. ඒසේ මූලාංක දෝෂයක් ඇති වන්නේ දිර්ඝ කාලීනව භාවිතා කිරීමේදී හනු සහ අනෙකුත් කොටස් ගෙවී යාම නිසාය.

දැන් මෙම මූලාංක දෝෂ ගණනය කරන ආකාරය ගැන අධ්‍යයන කරමු. ඒ සඳහා පහත රූප හොඳින් නිරීක්ෂණය කරන්න.

(1) රූපය - මෙම වර්නියර් කැලිපරයේ මූලාංක දෝෂයක් නොමැත.

(1) රූපය - මෙම වර්නියර් කැලිපරයේ මූලාංක දෝෂයක් නොමැත.

ඉහත රූපයේ ආකාරයට අචල හනුව සහ සර්පණ හනුව ස්පර්ශව ඇති විට ප්‍රධාන පරිමාණයේ 0 සමඟ වර්නියර් පරිමාණයේ 0 සමපාත වී ඇත. එනම් මෙහි මූලාංක දෝෂය ශුන්‍යය වී ඇත. එනම් මෙම වර්නියරයෙන් ලබා ගන්නා මිනුම් නිරවද්‍ය වේ.

(2) රූපය - එකතු කළ යුතු මූලාංක දෝෂයක් ඇත.

(2) රූපය - එකතු කළ යුතු මූලාංක දෝෂයක් ඇත.

මෙම වර්නියර් කැලිපරයේ හනු එකිනෙකට ස්පර්ශව ඇති විට වර්නියර් පරිමාණයේ 0 ලකුණ විසින් ප්‍රධාන පරිමාණයේ 0 ලකුණ පසු කරගෙන වම් දිශාවට ගොස් ඇත. එනම් මෙහි මූලාංක දෝෂයක් ඇත. එය මෙසේ ගණනය කරනු ලැබේ. මෙම රූප වල ඉහලින් ඇත්තේ මිලිමීටර පරිමාණයක් වන අතර පහලින් ඇත්තේ වර්නියර් පරිමාණයයි.

මූලාංක දෝෂය = (මුළු වර්නියර් කොටස් ගණන – සමපාත වර්නියර් පාඨාංකය) x කුඩාම මිනුම

ඉහත (2) රූපයේ මූළු වර්නියර් කොටස් ගණන 10 කි. ප්‍රධාන පරිමාණයේ 3 සමඟ වර්නියර් පරිමාණයේ 4 සමපාත වන නිසා සමපාත වර්නියර් පාඨාංකය 4 වේ. කුඩාම මිනුම 1/10 වේ. එවිට සුළු කිරීමෙන් මූලාංක දෝෂය ලෙස 0.6mm ක් ලැබේ. ඉතින් මෙවැනි මූලාංක දෝෂයක් ඇති වර්නියර් කැලිපරයකින් මිනුම් ලබා ගන්නා විට අවසාන පාඨාංකයට මෙම මූලාංක දෝෂය එකතු කළ යුතුයි. එවිට දෝෂය මඟ හැරී යයි.

(3) රූපය - අඩු කළ යුතු මූලාංක දෝෂයක් ඇත.

(3) රූපය - අඩු කළ යුතු මූලාංක දෝෂයක් ඇත.

වර්නියර් කැලිපරයේ හනු එකිනෙකට ස්පර්ශව ඇති විට මේ ආකාරයට වර්නියර් 0 විසින් ප්‍රධාන පරිමාණයේ 0 ලකුණ පසු කරගෙන දකුණු දිශාවට ගොස් ඇත්නම් එහි මූලාංක දෝෂය මෙසේ ගණනය කරනු ලබයි.

මූලාංක දෝෂය= සමපාත වර්නියර් පාඨාංකය x කුඩාම මිනුම

ඉහත (3) රූපයේ ප්‍රධාන පරිමාණයේ 4 සමඟ වර්නියර් පරිමාණයේ 3 සමපාත වේ. එම නිසා සමපාත වර්නියර් පාඨාංකය වන්නේ 3යි. කුඩාම මිනුම 1/10 නිසා මේ දෙකෙහෙි ගුණිතයෙන් මූලාංක දෝෂය ලැබේ. මෙහි මූලාංක දෝෂය 0.3mmකි. මෙවැනි මූලාංක දෝෂයක් තිබෙන වර්නියර් කැලිපරයකින් යම් වස්තුවක මිනුමක් ලබාගත් විට එම පාඨාංකයෙන් මෙම මූලාංක දෝෂය අඩු කළ යුතුයි. එවිට දෝෂය මඟ හැරී නිරවද්‍ය අගයක් ලැබේ.

ඉහත ආකාරයට යම් වස්තුවක දිග මැනීමට පෙර කුඩාම මිනුමත් මූලාංක දෝෂයත් පරීක්ෂා කිරීම ඉතා වැදගත්. ඉතින් දැන් වර්නියර් කැලිපරයෙන් දිග මනින ආකාරය සලකා බලමු. මුල්න්ම දිග මැනීමට අවශ්‍ය වස්තුව අඳාළ හනු අතර තබා යාන්තමින් සිර කරගන්න. දැන් ප්‍රධාන පරිමාණයේ පාඨාංකය ලබාගන්න. ඉන්පසු සමපාත වර්නියර් පාඨාංකයද ලබාගන්න. ලබාගත් පාඨාංක පහත සූත්‍රයට ආදේශයෙන් අවසාන පාඨාංකය හෙවත් නිවැරදි දිග ලබා ගත හැක.

නිවැරදි දිග = ප්‍රධාන පරිමාණ පාඨාංකය + (සමපාත වර්නියර් පාඨාංකය x කුඩාම මිනුම)  ± මූලාංක දෝෂය

මූලාංක දෝෂයන් ඇති විය හැක්කේ ධන හෝ ඍණ අවස්ථාවන් වලදී පමණයි. එවිට සුදුසු අවස්ථාවට ගැලපෙන පරිදි මූලාංක දෝෂය අඩු කිරිඹ හෝ එකතු කිරීම සිදු කළ යුතුයි. පහත සජීවිකරණය නැරඹීමෙන් සහ වීඩියෝව නැරඹීමෙන් මෙම කරුණූ වලට අමතරව වර්නියර් කැලිපරය කියවන පහසු උපක්‍රම දැන ගැනීමට හැක.

Vernier Test Video By Mr. Sunimal

ඉතින් මෙසේ හනු මඟින් දිග මැනිය හැකි සේම ගැඹූර මනින කූර සහ ඇතුළු හනු භාවිතයෙන්ද දිග මැනිය හැක. එවිටද පෙර ආකාරයටම මූලාංක දෝෂ ගණණය කර නිවැරදි දිග ලබා ගත හැක.

By Shiroshan Randika

Sharing is caring.
  • Subscribe to our feed
  • Share this post on Delicious
  • StumbleUpon this post
  • Share this post on Digg
  • Tweet about this post
  • Share this post on Mixx
  • Share this post on Technorati
  • Share this post on Facebook
  • Share this post on NewsVine
  • Share this post on Reddit
  • Share this post on Google
  • Share this post on LinkedIn

Discussion

2 responses to "වර්නියර් කැලිපරයෙන් දිග මනිමු"

Leave a Comment